
මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්රණයක් තියෙනවා..- මිහින්තලා හිමි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාධ්ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්රකාශ කළ අතර, එහිදී විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්යවේදියෙකු විමසූ අවස්ථාවේදී අසභ්ය වචනයෙන් බැණ වැදුණු බව කියන මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ දුරකථන සංවාදයක හඬපටයක්ද උන්වහන්සේ විසින් මාධ්ය වෙත මුදාහරිනු ලැබීය. වසර එකහමාරක කාලයක් තිස්සේ තායිලන්ත රජය, එරට නියෝජ්ය අග්රාමාත්යවරිය සහ තානාපති කාර්යාලය සමඟ එක්ව සිදුකළ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 1,170ක් වැයකර මෙම චූඩා මාණික්යය සහ රන් ආලේපිත කොත් කැරැල්ල මිහින්තලාව වෙත රැගෙන ආ බව නාහිමියෝ පැහැදිලි කළහ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය ලිඛිතව දැනුවත් කළද කිසිදු ප්රතිචාරයක් නොලැබුණු බවත්, කන්ද උඩට නැගීමට අපහසු වැඩිහිටි බැතිමතුන් වෙනුවෙන් මිහින්තලා මැද මළුවේ ප්රදර්ශනයට තැබූ මෙම පූජනීය වස්තූන් සඳහා පොලිසියෙන් අවම ආරක්ෂාවක් හෝ සලසා නොතිබූ බවත් උන්වහන්සේ චෝදනා කළහ. කිලෝග්රෑම් 27ක් පමණ බරැති මෙම වටිනා චූඩා මාණික්යය සහ කොත් කැරැල්ල රැකගැනීමට සන්නද්ධ පොලිස් නිලධාරියෙකුවත් යොදවා නොතිබූ බැවින්, එහි ආරක්ෂාව පතා තමන් වහන්සේ මැදිහත්ව එය ප්රදර්ශනයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළ බව නාහිමියෝ සඳහන් කළහ. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පූර්ණ නිර්දේශ, අනුමැතිය සහ අධීක්ෂණය යටතේ විදේශගත ශ්රී ලාංකිකයින්ගේ සහ දෙස් විදෙස් බැතිමතුන්ගේ රුපියල් ලක්ෂ 3,000ක (කෝටි 30ක) ආධාර මත මිහිඳු සෑයේ ප්රතිසංස්කරණ සිදුවන බව පැවසූ උන්වහන්සේ, බුද්ධශාසන සහ විදේශ කටයුතු අමාත්යාංශවල ඇතැම් නිලධාරීන් මෙම කටයුත්ත නීතිවිරෝධී එකක් ලෙස හුවා දක්වමින් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ ක්රමවේදයක් සොයමින් සිටින බවටද බරපතළ චෝදනාවක් එල්ල කළහ. එමෙන්ම, විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව විමසීමට තරුණ මාධ්යවේදියෙකු මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා ඇමතූ අවස්ථාවේදී, ලේකම්වරයා ඉතා පහත් හා අසභ්ය වචනයෙන් ප්රතිචාර දැක්වූ ආකාරය හෙළිදරව් කළ ධම්මරතන හිමියෝ, ජනතා බදු මුදලින් වැටුප් ලබන මෙවැනි රාජ්ය නිලධාරීන් දේශපාලන න්යායපත්රවලට යටත්ව කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප්රකාශ කළහ. මෙම අර්බුදය හමුවේ තම ජීවිතයට කිසියම් හෝ හානියක් සිදුවුවහොත් ඊට මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව සෘජුවම වගකිව යුතු බව අවධාරණය කළ උන්වහන්සේ, මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඇතුළු මෙරට යුක්තිගරුක ජනතාවගේ අවධානය වහා යොමුවිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියහ.
Google AdSense
In-Article Ad

