FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කස්සප හිමිට අපි ගැහුවෙ නෑ.. උන් වහන්සේ බිම ඇද වැටුනා..- පොලිසිය

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී (17) රාත්‍රී කාලයේදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. එහිදී එම ස්ථානයට රැස්ව සිටි පිරිස ඇමතීම සඳහා නීතිවිරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමටත්, ටෙන්ට් රෙදි යොදාගනිමින් තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමටත් උද්ඝෝෂකයින් උත්සාහ දරා ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ ඉදිකිරීම් නීත්‍යානුකූල නොවන බව ඔවුන්ට කරුණු සහිතව පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එහි රැස්ව සිටියදී, උද්‍යාන පරිශ්‍රයේ තිබූ කොන්ක්‍රීට් පඩියකින් උන්වහන්සේගේ පය ලිස්සා බිම ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය අවධාරණය කරයි. ඒ අනුව, පොලිස් නිලධාරීන් විසින් උන්වහන්සේට කිසිදු ආකාරයක පහරදීමක් සිදු කර නොමැති අතර, සිදුවූ හදිසි අනතුරින් පසු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බලංගොඩ කස්සප හිමියන් ප්‍රතිකාර ලබා මේ වන විටත් රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මහජනතාව කුපිත කරමින් රට තුළ කලහකාරී සහ නොසන්සුන් වාතාවරණයක් නිර්‍මාණය වන පරිදි මෙවැනි අසත්‍ය වීඩියෝ පට හා තොරතුරු අන්තර්‍ජාලයට මුදාහරින පාර්‍ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ දැඩි අවධානය යොමු වී ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද පොලිසිය අනතුරු අඟවයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි පදනම් විරහිත අසත්‍ය තොරතුරු පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මගින් පුළුල් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් දන්වා සිටී.

Google AdSense

In-Article Ad