
වස්දොස් කපන්න අගමැති හරිනිගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නවරාත්රී පූජාවක්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින් සංවිධාන කෙරුණු නවරාත්රී පූජෝත්සවයක් පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්වුණා. ඒ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන්. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙය සංවිධාන කර තිබුණා. ආගමික චාරිත්ර ඉටු කිරීමත් සමඟ නවරාත්රී සැමරුම් ආරම්භ වූ අතර, ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වුණා. මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ යහපත් සිතිවිල්ලෙන් සිදුකරන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බවයි. එමෙන්ම, අන්ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික හා සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ගොඩනැඟිය හැකි බව ද අග්රාමාත්යවරිය මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පැවසුවේ හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශීර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්ය වී, සරස්වතී දේවියගේ ආශීර්වාදයෙන් ප්රඥාව වර්ධනය වේවායි ප්රාර්ථනා කරන බවයි. කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම දායකත්වයෙන් මෙවැනි සැමරුම් සංවිධානය කිරීම යහපත් ආදර්ශයක් බව ද කථානායකවරයා වැඩිදුරටත් පැවසුවා. නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි, නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්, විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. .
Google AdSense
In-Article Ad

