FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හුලංගමුව මගේ උපදේශකයෙකු ලෙස වැඩ කර නෑ..- රනිල්ගෙන් නිවේදනයක්

FM Heart · 2 min read

The Heart Academy
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්‍ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද ආර්‍ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතා පසුගියදා පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. හිටපු ජනාධිපති කාර්‍යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ එම ප්‍රකාශය නිවැරදි කරමිනි. වික්‍රමසිංහ මහතා ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු යටතේ සේවය කරනු ලැබුවේ ප්‍රධාන ආර්‍ථික උපදේශකයන් තිදෙනෙකු පමණක් බව අදාළ නිවේදනයේ සඳහන් වේ. හිටපු මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්‍ය ආර්. එච්. සමරතුංග, වත්මන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්‍ධන සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් එම උපදේශකයන් තිදෙනා වෙති. 2022 වසරේ මෙරට ආර්‍ථික අර්‍බුදය කිසිසේත් විසඳිය නොහැකි බවට මත පළවූ අවස්ථාවක, රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසු මෙම ආර්‍ථික උපදේශකයන් තිදෙනා පත් කරගත් බව එම නිවේදනය පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආයතන සමඟ පැවති තීරණාත්මක සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ ද එම නිලධාරීන් තිදෙනා විසිනි. මීට අමතරව, මන්ත්‍රී හර්‍ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්‍ලිමේන්තු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටියේ ද එම ප්‍රධාන නිලධාරීන් බව හිටපු ජනාධිපති කාර්‍යාලය සිහිපත් කරයි. කෙසේ වෙතත්, දුමින්ද හුලංගමුව මහතාගේ කාර්‍යභාරය පැහැදිලි කරමින් එම නිවේදනය සඳහන් කරන්නේ, ඔහු හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික හෝ ප්‍රධාන ආර්‍ථික උපදේශකයෙකු ලෙස කටයුතු නොකළ බවයි. ඔහු ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරමින්, රටේ ආර්‍ථික වර්‍ධන උපායමාර්‍ගය සම්පාදනය සඳහා දායකත්වය ලබාදුන් තාවකාලික කමිටුවක සාමාජිකයෙකු ලෙස පමණක් ක්‍රියා කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
99mobile