
පොලිසියේදී සැකකරුවෙකු මිය යයි.. දරුණු පහරදීම් යයි චෝදනා.. හෝමාගම පොලිසිය මහ කලබලයක් වේ..
FM Heart · 2 min read
මියගිය තරුණයාගේ ඥාතීන් ලෙස චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික සහ දරුණු පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ තරුණයා හෘදයාබාධයකින් හෝ හදිසි අසනීප තත්ත්වයකින් මියගිය බවට පොලිස් පාර්ශ්වය ප්රකාශ කිරීමට උත්සාහ කරන බව පවසමින් ඥාතීහු සහ ප්රදේශවාසීහු රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. පොලිස් වාර්තාවලට අනුව, 'අයිස්' මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සහ මත්ද්රව්ය සම්බන්ධයෙන් පවතින විවෘත වරෙන්තුවකට අදාළව මෙම තරුණයා ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව අද පෙරවරුවේ පොලිස් සිරමැදිරිය තුළදී ඔහු හදිසියේ අසාධ්ය තත්ත්වයට පත්වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත්, එහිදී ඔහු මියගොස් ඇති බවත් පොලිසිය ප්රකාශ කරයි. එහෙත් එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන මියගිය තරුණයාගේ පියා ඇතුළු ඥාතීන් පෙන්වා දෙන්නේ, තරුණයා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ කාමරයකට දමා දොර වසා පැය ගණනාවක් පුරා අමානුෂික ලෙස පහරදුන් බවයි. එම පහරදීම් හමුවේ තරුණයා කෑගසන ශබ්දය තමන්ට ශ්රවණය වූ බවත්, අනතුරුව සිහිසුන්ව ලේ පෙරාගත් තත්ත්වයෙන් සිටි ඔහුව නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව අත්පා වලින් ඔසවාගෙන විත් සිරමැදිරිය තුළට දැමූ බවත් ඔවුහු මාධ්ය හමුවේ හඬා වැටෙමින් පැවසූහ. තවද, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවට වෛද්යවරුන් ප්රකාශ කළ බව පවසන ඥාතීන්, සිද්ධියට සාධාරණ පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. මියගිය තරුණයා සිව් හැවිරිදි දරුවෙකුගේ පියෙකි. රෝහල් පරිශ්රයට රැස්වූ ඥාතීන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වාග් සංග්රාමයක් සහ නොසන්සුන්තාවක් හටගැනීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන කිහිපයකින් අතිරේක පොලිස් කණ්ඩායම් කැඳවීමට බලධාරීහු පියවර ගත්හ. පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණයාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව සහ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

