
හෝමූස් හිදී තෙල් නැව් තුනක් මුහුදු බෝම්බවල ගැටී පුපුරා යයි...
FM Heart · 2 min read
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම පිපිරීම්වලින් අනතුරුව කාර්ය මණ්ඩල විසින් අදාළ නෞකා අත්හැර දමා ගොස් ඇති අතර, එම නෞකා මේ වන විට දකුණු වෙරළබඩ මුහුදේ පාවෙමින් පවතින බවයි. අදාළ තෙල් නැව් සිය රේඩාර් සහ නාවික ගමන් මාර්ග පද්ධතීන් අක්‍රිය කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටවීම සඳහා අනවසර දකුණු මුහුදු මාර්ගය භාවිත කිරීමට උත්සාහ දරා තිබේ. එහිදී ඉරාන නාවික හමුදාව ලබාදුන් ආරක්ෂක අනතුරු ඇඟවීම් මුළුමනින්ම නොසලකා හරිමින් යාත්‍රා කිරීම හේතුවෙන් නෞකා මෙලෙස මුහුදු බිම්බෝම්බවල ගැටී විනාශ වී ඇති බව ඉරාන හමුදා නිලධාරීහු තහවුරු කරති. හෝමූස් සමුද්‍ර සන්ධියේ අනවසර නාවික මාර්ග ආශ්‍රිතව බිම්බෝම්බ අටවා ඇති බවට නාවික හමුදාව මීට පෙරද අනතුරු අඟවා තිබූ බව සිහිපත් කළ ඉරාන බලධාරීන්, එම නීතිවිරෝධී මාර්ග භාවිත කරමින් අනතුරට ලක්වන නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් නැව් හිමිකරුවන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම්බෝම්බ ඉවත් කර ආරක්ෂිත කර ඇති බවට ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසද ඉරානය ජාත්‍යන්තර නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් හොසේන් මොහෙබ්බි පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ සැබෑ බලය තීන්දු වන්නේ ගුවනේදී, ගොඩබිමේදී සහ මුහුදේදී මිස ඇමෙරිකාවේ මාධ්‍ය යුද කාමරවල හෝ සමාජ මාධ්‍ය තුළ නොවන බවයි. උපායමාර්ගික ජල මාර්ග පාලනය කිරීමට ගොස් 1956 සූවස් අර්බුදයේදී බ්‍රිතාන්‍යය දැඩි පසුබෑමකට ලක්වූ අයුරු සිහිපත් කළ ඔහු, හෝමූස් කලාපයේ නීතිරීති කඩකරමින් සිදුකරන ඕනෑම ප්රකෝපකාරී ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අවධාරණය කළේය. මීට අමතරව, ඉරාන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් අක්‍රමිනියා සඳහන් කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ පූර්ණ උපායමාර්ගික පාලනය යටතේ පවතින බවත්, ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි මුළුමනින්ම ඉටුවන තුරු එය ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා විවෘත නොකරන බවත්ය.

