
ඇප නොදී දිගටම රිමාන්ඩ් කිරීම දඬුවම් දෙකක්දීමක්
FM Heart · 6 min read
යුක්තිසහගත දැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අසති ඇප නොදී රිමාන්ඩ් භාරයේම තබා ගැනීම නීතිය නොවේ – අජිත් පී. පෙරේරා ඇපදීම නොදීම අධිකරණයේ කාර්යයක් නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දී ළමා කතා කියන්න එපා 2024 ජනවරම ලැබුණේ එයටයි – ජා.ජ.බ. මන්ත්‍රී නජිත් ඉන්දික නඩු විභාග කල් දැමෙද්දී පුද්ගලයන්ට ඇප නොලැබී දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තැබීමෙන් ඔවුනට දෙආකාරයකට දඬුවම් ලැබෙන බවත් එසේ කිරීම යුක්තිසහගත දැයි කල්පනා කර බලන ලෙසත් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියහ. ඊට පිළිතුරු දී ඇති ජාතික ජන බලවේග මන්ත්‍රී නජිත් ඉන්දික මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ල කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් සඳහනක් ද කළේය. ඊට අදාළව මැතිසබේදී පළවූ අදහස් දැක්වීම් කිහිපයකි මේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (ස.ජ.බ.) – නාමල් රාජපක්ෂ මහත්මයා සහ චාමර සම්පත් දසනායක මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් භාරයේ ඉන්නවා. චෝදනාවක් තියෙනවා නම් මේක දඬුවම් දෙකක් නෙ? එතුමා විතරක් නෙමෙයි සිවිල් ක්‍රියාකාරීනුත් ඉන්නවා. දැන් මාස හය හත කිසිම හේතුවක් නැතිව, වග විභාගයක් නැතුව රිමාන්ඩ් භාරයේ තියාගෙන ඉන්නවා. නඩුවක් තියෙනවා නම් නඩුව ඉක්මනට දාල ඉවරවෙලා නඩුවෙන් අච්චු කෙරුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඇවිල්ලා අහන්නේ නැහැ ඇයි මේ මිනිහා හිරේ දැම්මේ කියලා. අපි අහන්නෙ නැහැ ඇයි මේ මිනිහට දඬුවම් දුන්නෙ කියලා. මේක අසාධාරණ ලෙස පළිගැනීමට වගේ කොච්චර කල් තියාගෙන ඉන්නවද? දඬුවම් කීයක්ද? මාස හයක් හතක් රිමාන්ඩ් එකෙත් ඉන්න ඕන. දඬුවම් දුන්නොත් තව අවුරුදු ගාණක් හිරේ ඉන්නත් ඕන. ඒ වගේ අනිත් අයටත් කරන්න ඕන. අර කම්කරු කාර්යාලයේ ඉඩම් එහෙම බලෙන් තියාගත්තු අය හිටියා. මෙට්‍රෝ බස් සමාගමේ ඉඩමක් බලහත්කාරයෙන් අරගත්තු මන්ත්‍රවරු හිටියා. ඒ අයට මොකුත් නැහැ. ඒ අයට කිසිම ඇක්ෂන් එකක් නැහැ. හිටපු ගල් අඟුරු ඇමැතිතුමාට මොකුත් නැහැ. ඒ අය හොඳට චූන් එකේ ඉන්නවා. ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ. උසාවියේ නඩුවක් තියෙනවා නඩුව කල් දානවා. නඩුව විභාග කරපු කෙනා වරෙන්තුකරුව කැඳවන්න කිව්වොත් ඔහුව මාරු කරලා දානවා. අපි දන්නෙ නැහැ නඩුකාරයට මොකද වෙන්නෙ කියලා. දැන් ඊයේ පෙරේදත් සිද්ධියක් වුණානෙ. ගම්පහ උසාවියෙන් පොලිස්පතිතුමාට විරුද්ධව තීන්දුවක් දුන්නා. අන්තිමට අපි දන්නෙ නැහැ සුමාන දෙකක් යනකොට මහෙස්ත්‍රාත්තුමා කොයි ලෝකෙට මාරු කරලද කියලා. ඔන්න ඕකයි රටේ නීතිය. ඒ කියන්නෙ මහෙස්ත්රාත්තුමාටත් පොඩි බලපෑමක් කරනවා. අපේ හිතවතුන්ට, අපේ නිලධාරීන්ට, අපේ මන්ත්‍රීවරුන්ට යම්කිසි දෙයක් එහෙම කරනවා නම් එහෙම ලෑස්ති වෙන්න එපැයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (ස.ජ.බ.) ඇපදීම රීතිය. ඇප නොදී රිමාන්ඩ් භාරයේ තබා ගැනීම නෙමෙයි නීතිය. දඬුවම, වරදකරුවෙක් කරලා දඬුවම දෙන එකයි නීතිය. අවුරුදු 10, 15, 20 හිරේ යවන්න. දඬුවම් දීම මොනව වුණත් අපි රක්ෂිත බන්ධනාගාරයේ තබමු කියන පටු චේතනාව තුළ කටයුතු කළාම විශ්වාසය නැති වෙනවා. පුද්ගලයන් තෝරල බේරල සමාජය තුළ විවේචනයට ලක්වෙන මේ 149 බලතල යෙදුවොත් එහෙම පිරිහෙන්නේ නීතියේ ආධිපත්‍යය. අවසානයේ පිරිහෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ බලය. අවසානයේ පිරිහෙන්නේ මේ ආණ්ඩුවේ අල්ලසට විරෝධී ප්‍රතිපත්තියේ බලය. මම ඔබතුමාලත් එක්ක අල්ලසට එරෙහිව එකට ඉන්නවා. සටන දුර්වල කරන්න පුද්ගලවාදී තීරණ ගන්න එපා. රට අනතුරේ. පුද්ගලයා තෝරාගන්නේ දේශපාලන වුවමනාවට කියලා බරපතළ චෝදනාවක් තියෙනවා. හැම පුරවැසියටම නීතිය එකයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (ස.ජ.බ.) 2023 දී සම්මත කරගත්ත පනත පිළිබඳව ගනිමු. නාමල් රාජපක්ෂට එක නීතියකුත්, තුන්වැනි පේළියේ ඉන්න කුමාර ජයකොඩිට එක නීතියකුත් තියෙනවද? අල්ලස් කොමිසමෙන් කුමාර ජයකොඩි මහත්තය අත්අඩංගුවට ගත්තේ නැහැ. 149 සහතිකයකුත් නැහැ. අධිචෝදනා ගොනු කරලත් තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න නාමල් රාජපක්ෂට එක නීතියකුත් කුමාර ජයකොඩිට එක නීතියකුත් ඇයි කියන එක තමයි මගේ ප්රශ්නය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (ස.ජ.බ.) “නාමල් රාජපක්ෂගේ දේශපාලන වශයෙන් මගේ විරුද්ධකම් තියෙනවා. එතුමා ඇතුළේ තියලා මොකක්ද කරන්නෙ? සුගීෂ්වර බණ්ඩාර ආණ්ඩුවට ගැහුවා. ජනාධිපතිතුමාට ගැහුවා. දවස් කීයක්ද රිමාන්ඩ් එකේ? අනුර කුමාරල, අපි සටන් කළේ ඕවට. මට අනුර කුමාර එක්ක තරහා ඒකයි. අනුර කුමාර මහත්තයාගේ මුහුණ බලන්නෙත් නැහැ. මට බලන්නත් ලැජ්ජයි. එකට ඉන්න අපි කැන්ටින් එකේදී රාජපක්ෂලාගේ පිස්සු ගැන ඒ දවස්වල කතා කළා, මේ කරන්නෙ බලු වැඩක් ද කියලා. බැසිල් රාජපක්ෂලාට අපි විරුද්ධයි. නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. දේශපාලනය කරන්න ගැටලුවක් නැහැ. තව අවුරුද්දක් යනකොට අනුර කුමාරලා, බිමල්ලා විපක්ෂයේ ඉන්න පුළුවන්. අපි මර්දනයට විරුද්ධව හැම එකත් එක්කම එකතු වෙනවා. එක්ව සටන් කරමු. වෙන්ව ගමන් කරමු. හැබැයි මේ හිරේ දාන දැමිල්ල මේවා වැරදි නීති. පොලිසියේ නිලධාරීන්ට ඕනෑ කෙනෙක්ව තරහට අවුරුදු 2 ක් හිරේ දාන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා (පො.එ.පෙ.) “උසාවි පාවිච්චි කරලා, පොලිසි පාවිච්චි කරලා මර්දනය කරන්න පටන් අරගෙන තියෙනවා. එකම අධිකරණය සතියක් ඇතුළත තීන්දු දෙකක් දෙනවා. එක දවසක් කියනවා පළවැනි තීන්දුවයි අන්තිම තීන්දුවයි එකක් වෙන්න බැහැ කියලා. මේක විසි කරලා දානවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා (ජා.ජ.බ.) “දයාසිරි මන්ත්‍රීතුමා කිව්වා ඇතැම් පුද්ගලයන් රිමාන්ඩ් කරනවා කියලා. ඔහුගේ කතාවේ කිව්වේ හොරු අල්ලන වැඩපිළිවෙළ යටතේ දෙපාරක් දඬුවම් දෙනවා කියලා. ඔහු කිව්වේ නාමල් රාජපක්ෂ ගැන. නාමල් රිමාන්ඩ් කළේ අපිද? ජනාධිපතිතුමාද? නාමල් රිමාන්ඩ් කරල තියෙන්නේ කොළඹ මහාධිකරණයෙන්. අදාළ ක්‍රමවේදයට අදාළ විනිසුරුවරුන් අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. එතකොට මේ පනතට අනුව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට පුළුවන් සහතිකයක් ඉදිරිපත් කරලා ඇප ලබාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. මේකට තමයි මේ දඬුවම් දෙනවා පව් කියන්නේ. මේකේ ඇත්තම කතාව මේකයි. නාමල් රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනාවට අදාළ විභාග වන නඩුවලට ඔහුගේ ලොකු තාත්තගේ පොඩි පුතා ලංකාවට එන්නේ නැතිව හැංගිලා ඉන්නවා. තමාගේ අම්මගේ මරණයටවත් ආවේ නැහැ. මේ නඩුවලට කට්ටි පැනල ඉන්නේ. තවත් අයෙක් වන කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත් වුණා. බැසිල් රාජපක්ෂ රතු වරෙන්තු නිකුත් කරලා ඒ එන්නෙත් නැහැ. මෙහෙම තියෙන තත්ත්වයක තියෙද්දී අල්ලස් කොමිසම කරුණු දක්වද්දී මෙතන ඇවිල්ල පොදු පෙරමුණේ නොවන අයත් මේ බලන්න හරි අපරාධයක්, දෙපාරක් දඬුවම් දෙනවා කියනවා. මේක ජනාධිපතිතුමාවත්, අධිකරණ ඇමැතිතුමාවත්, පොලිසිය සහ ඇමතිතුමාවත් කරන දෙයක් නෙවෙයි. යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් කෙරෙන ප්‍රශ්නයක්. අපිට ජනවරම ලැබුණෙ ඒකටයි. මේ රටේ ඉතිහාසය තිබුණේ මේ වගේ ආරක්ෂා වෙච්ච ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි විපක්ෂයේ අයත් හිටියා. 2015 මිනිස්සු බලය දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ජනතාව කිව්වේ නාස්තිය, දූෂණය නැති කරන්න කියලා. දැන් නීතිය ක්‍රියාත්මක වනවිට වැඩි නැද්ද? දඬුවම් දෙකක් කියනවා. මේක සෙල්ලමක් නෙමෙයි. අපි මිනිස්සුන්ට යුක්තිය, නීතිය, සත්‍ය දෙන්න ඕන. අපිට දුන්න ජනවරමේ සම්බන්ධතාවයක් තියෙනවා. හරියට නීතිය ක්‍රියාත්මක කරන විට ළමා කතා කියන්න එන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා (ස.ජ.බ.) “නාමල් රාජපක්ෂ මහතා මගේ දේශපාලන කඳවුරේ කෙනෙක් නොවෙයි. හැබැයි නීතිඥවරයෙක් හැටියට යම්කිසි හැඟීමක් ඇතිවේගෙන යනවා. ගරු ඇමැතිතුමනි, මේවා අපි කතා කරන ඒවා නෙවෙයි. හැබැයි 1957 ඇප පනත බැලුවොත් ඇප දීම රීතියයි. ඇප දෙන්න කියලයි පනත හදලා කිව්වේ. ඇප නොදී ඉන්න නෙවෙයි. මිනිහෙක්ව උසාවියේ වැරදිකාරයෙක් කරලා අවුරුදු 50 ක් 100 ක් යවන්න එපා කියන අපි, මොකක්ද කියන්නෙ. “පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙලා අපිට කියන්න පුළුවන්ද දීපු තීරණ වැරදියි කියලා. කියන්න බැහැ. ඒකයි අධිකරණයේ ස්වාධීනත්වය. රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් මෙච්චර බලන් හිටියට පස්සේ අපිට හිතෙනවා ඇමැතිතුමනි, මේක ඊළඟ පාර ඔයාලට කැරකුණත් අපි පෙනී සිටිනවා. මොකද අපි නීතිඥවරු හැටියට නීතිය දන්න මිනිස්සු විදියට මේ ඇප ලබාදීම රීතියයි. ඇප නොදී තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා. හැබැයි අසාමාන්‍ය විදිහට මෙහෙම යද්දී අපිට කතා නොකර ඉන්න බැහැයි කියන එකත් මතක් කරන්න කැමැතියි.” චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්

