FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

IMF සාකච්චා ගැන මාධ්‍ය වාර්‍තා කරන්නේ රජය අපහසුතාවට පත් කරන්නයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම් වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට පූර්‌වගාමීව සිදු කෙරුණු තාක්ෂණික කමිටු සාකච්ඡා වටය අලලා ඇතැම් මාධ්‍ය වැරදි අර්‍ථ නිරූපණයක් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ 7 වැනි වාරිකය මුදා හැරීමට අදාළ සමාලෝචනයට පෙර සිදු කෙරුණු තාක්ෂණික කමිටු රැස්වීම 7 වැනි වාරිකය නිදහස් කිරීමේ අවසන් සාකච්ඡා වටය ලෙස ඇතැම් මාධ්‍ය පුවත් වාර්‍තා පලකර ඇති බවයි. එය මෙම විස්තීර්‍ණ ණය පහසුකම් වැඩසටහනේ පිළිගත් හා නිශ්චිත තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳ අනවබෝධයකින් හෝ වැරදි අවබෝධයක් ජනතාව තුළ ඇති කර රජය අපහසුතාවයට පත් කිරීමට දැරූ වෑයමක් බව අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, අභ්‍යන්තර හා බාහිර කරුණු කාරණා මත රට වැටී තිබූ ආර්‍ථික අවපාතයෙන් ආර්‍ථිකය මුදා ගෙන ගත වූ දෙවසර තුළ දේශීය වශයෙන් ආදායම් රැස්කර ගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ සංචිත රැස්කර ගැනීමටත් රජය සමත් වූ බවයි. එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙමින් පවතින අවස්ථාවක එය වඩාත් ප්‍රසාරණය වීම වළක්වාලීමට ජනතාව නොමග යවන සුළු පුවත්පත් වාර්‍තා වග කීමකින් තොරව ප්‍රචාරය කිරීම රටට සිදු කරන හානියක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්‍ණ අරමුදල් පහසුකම් සම්පාදන වැඩසටහනේ 7 වැනි වාරිකයට අදාළ සමාලෝචනයට පූර්‍වගාමීව සිදු කෙරෙන තාක්ෂණික සාකච්ඡා වටය එම අරමුදලේ නියෝජිතයින්, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 10 වැනිදා සිට 23 දක්වා කොළඹදී පැවැත්විණි.

Google AdSense

In-Article Ad