
අලුත් Solar ගැසට්ටුවෙන් 450Mwක විදුලි හිගයක්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම මණ්ඩලයේ සභාපති අනුර වර්‍ණකුලසූරිය සහ උපසභාපති ආචාර්‍ය ලක්මාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියක් මඟින් පෙන්වා දෙන්නේ, මෙම තීරණය හේතුවෙන් මෙරට සූර්‍ය බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම සමස්ත බලශක්ති සුරක්ෂිතතාව ද දැඩි අර්‍බුදයකට ලක්ව ඇති බවයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ජාතික පද්ධති ක්‍රියාකරු නිකුත් කර ඇති පුරෝකථන අනුව 2027 වසරේ මුල් භාගය වන විට මෙරට මෙගාවොට් පැය 450ක බලශක්ති හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. එවන් පසුබිමක, දැනටමත් ජාතික පද්ධතියට මෙගාවොට් 2,600ක ධාරිතාවක් එක්කරමින් ආනයනික පොසිල ඉන්ධන සඳහා වැයවන මුදලින් මසකට රුපියල් බිලියන 20.4ක් පමණ ඉතිරි කර දෙන වහල මත සූර්‍ය විදුලි ක්ෂේත්‍රය මෙලෙස අඩපණ කිරීම ජාතික ආර්‍ථිකයට එල්ල වන බරපතළ පහරක් බව එම ලිපියේ සඳහන් වේ. බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කරන ලද PE/DEV/03/01-RT දරන ලිපිය මඟින් සියලු නව සූර්‍ය බලශක්ති සම්බන්ධතා සහ ගිවිසුම් දීර්‍ඝ කිරීම් ‘Net Plus’ ක්‍රමයට පමණක් සීමා කර, ගිවිසුම් කාලය ද වසර 12ක් දක්වා අඩු කර තිබේ. මේ හරහා පාරිභෝගිකයා නිපදවන විදුලිය අඩු ස්ථාවර මිලකට බලධාරීන්ට ලබාදී, තම පරිභෝජනය සඳහා වැඩි මිලකට විදුලිය මිලදී ගැනීමට සිදුවන බව පෙන්වා දෙන වාණිජ මණ්ඩලය, මෙය පාරිභෝගිකයාගේ බලශක්ති ස්වයංපෝෂිතභාවයට බාධාවක් මෙන්ම දේශීය ව්‍යාපාරවල විදුලි පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ දැමීමට හේතුවන්නක් බවද අවධාරණය කරයි. මෙම ඒකපාර්‍ශ්වික තීරණය ස්වාධීන නියාමකයා වන මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මඟහැර නීතිවිරෝධී ලෙස ගෙන ඇති බවට චෝදනා කරන වාණිජ මණ්ඩලය, මේ හේතුවෙන් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන සමාගම් 800කට අධික සංඛ්‍යාවක් කඩා වැටීමේ තර්‍ජනයට මුහුණ දී ඇති බව පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෘජු හා වක්‍ර රැකියා 20,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් මතු වී ඇති අතර, දැනට ස්ථාපිත කර ඇති මෙගාවොට් 2,600ක පද්ධති නඩත්තු කිරීම ද ඇනහිටිය හැකි බව පෙන්වා දී තිබේ. බලශක්ති ක්ෂේත්‍රය ජනතාව අතර පුළුල් ප්‍රජාතන්ත්‍රීකරණය වීම මන්දගාමී කරමින් යළිත් ආනයනික පොසිල ඉන්ධන සහ මහා පරිමාණ ඒකාධිකාරී ව්‍යාපෘති වෙත රට යොමු කිරීම වැළැක්වීම සඳහා විධායක බලය භාවිත කර පියවර ගන්නා ලෙස වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

