FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අතීත අපරාධ ගැන අධිකරණ ක්‍රියාවලීන් සාර්ථකව කරන්න සියලු සහයෝගය දෙනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙම අවස්ථාවට එක්වෙමින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කළ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ 2024 මහ මැතිවරණයේදී මෙරට ජනතාව සිදු කළ ඓතිහාසික වෙනසත් සමඟ උතුර සහ දකුණ ඒකාබද්ධ කරන ජාතික යහපැවැත්මක් නිර්මාණය වෙමින් පවතින බවයි. "අප උතුරු නැගෙනහිරට මෙන්ම දකුණට සහ බස්නාහිරටත් සමානව සැලකිලි දක්වමින් අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරන යහපත් දේශපාලන ගමනක නිරත වෙනවා. මහාමාර්ග, සෞඛ්‍යය, ප්‍රවාහනය සහ අධ්‍යාපනය වැනි යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් නෙවෙයි, ජනමාධ්‍යවේදීන්ගේ සියලු ගැටලු වෙනුවෙන් ද පෙනී සිටීමට අපගේ රජය සූදානම්. දැන් පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත මාධ්‍යවේදීන්ටම සිය වෘත්තීය ගැටලු අප සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා." තවද, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන යුගයක, ජාතිවාදයෙන් තොර දේශපාලන සංස්කෘතියක් තුළ රටේ ආර්ථික වර්ධනය ඉහළ යමින් පවතින බැවින් තරුණ පරපුරට රට හැරයාමට අවශ්‍යතාවයක් නොමැති බව ද ඇය පැවසුවාය. අතීතයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය, "අප බලයට පත් වූයේ සමස්ත ජනතාවටම එක ලෙස යුක්තිය ඉටු කිරීමටයි. අතීතයේ සිදුවූ අපරාධ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලීන් සාර්ථකව පවත්වාගෙන යාමට රජයක් ලෙස අවශ්‍ය සියලු සහයෝගය අප ලබා දෙනවා. සාක්ෂි වසන් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම විමර්ශන ඇදී යාම නිසා යම් කාලයක් ගත වුවද, අපරාධකරුවන්ට දඬුවම් ලබා දී වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අප කැපවී සිටිනවා." මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, සුබසාධනය මෙන්ම ඉදිරි නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවාය. "ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ශක්‍යතා වර්ධනය උදෙසා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 104ක ප්‍රතිපාදන අප වෙන් කර තිබෙනවා. එමෙන්ම මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ රක්ෂණාවරණයක් සහ සහනදායී දුරකථන දත්ත (Data) පැකේජයක් ලබා දීමටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. මාධ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය අභිමානය සුරක්ෂිත කෙරෙන වරලත් ආයතනයක් පිහිටුවීමේ පනතත් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසානයි. ඒ වගේම, මාධ්‍යවේදීන් දැනට මුහුණ දෙන වැටුප් පිළිබඳ ගැටලුව කෙරෙහිත් අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා, ඒ පිළිබඳව ද ඉදිරියේදී සාධනීය පියවර ගන්නවා. ඊට අමතරව අතීතයේ අනිසි ලෙස භාවිත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීමට අවශ්‍ය සංශෝධනත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ (Online Safety Act) සංශෝධනත් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPR) කිසිසේත්ම ජනතාව මර්දනය කිරීම සඳහා භාවිත නොකරන බවටත් සහතික වෙනවා."

Google AdSense

In-Article Ad