
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ. මෙම තරගය උතුරු ඔස්ට්‍රේලියාවේ අගනගරය මෙන්ම විශාලම නගරය වන ඩාවින්හි Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙය වසර 23කට පසු බංග්ලාදේශ කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගකට ක්‍රීඩාකරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතුවනු ඇත. අවසන් වරට 2003 වසරේදී බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියකට (පළමු හා එකම ටෙස්ට් තරගාවලිය) ක්‍රීඩා කළ අතර, තරග දෙකකින් යුත් එම තරගාවලියේ පළමු තරගය පවත්වා ඇත්තේද හෙට තරගය පැවැත්වෙන ඩාවින්හි මෙම ක්‍රීඩාංගණයේදීමය. ඛලීඩ් මහමුද්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ඇතුළුව සමසත තරගාවලිය ඉනිමකින් සහිතව පරාජයට පත්විය. මොහොමඩ් අෂ්රාෆුල්, හබිබුල් බෂාර්, මෂ්රාෆි මොර්ටාසා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එම සංචිතයට ඇතුළත්ව සිටියහ. එවකට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ස්ටීව් වෝ නායකත්වය ලබා දුන් අතර රිකී පොන්ටින්, මැතිව් හේඩ්න්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ බ්‍රෙට් ලී වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෝ රැසක් ඊට ක්‍රීඩාකර ඇත. වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන 39 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් 2003 සංචිතයේ නොසිටි අතර, එවකට ඔහු වයස අවුරුදු 16ක පාසල් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 18ක යෞවනයෙකු වූ රහීම්, 2005 වසරේ දී ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. වසර 21කට අධික රහීම්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමන් මග තුළ ඔහු ලොව දෙවැනි පැරණිම ක්‍රිකට් භූමිය වන ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව හෙට වනු ඇත. තමන්ට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට පෙර ඔස්ට්‍රේලියාව තුළ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට විශාල කැමැත්තක් තිබෙන බව රහීම් පසුගියදා මාධ්‍ය හමුවකදී ද ප්‍රකාශ කර තිබුණි. බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරග සංචාර සිදු නොකළද, 2006 සහ 2020 කාලය තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා තුනකදී බංග්ලාදේශයේ සංචාරය කර ඇත. එහිදී පැවැති තරගවලින් තරග 3ක් පරාජය වුවද, 2017 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්ව තිබේ. Marrara ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකාවේ සම්බන්ධයක්... Marrara ක්‍රීඩාංගණයේ එතෙක් මෙතෙක් පවත්වා ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණි. බංග්ලාදේශය ක්‍රීඩා කළ තරගයට අමතරව එම ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් එකම ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී ඇත. 2004 වසරේදී පැවැති එම තරගයෙන් මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 149ක පරාජයක් ලබා තිබේ.
Google AdSense
In-Article Ad

