
නන්දා මාලනියගේ අභාවය නිසා අද සිට දින තුනක් ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ – අවසන් කටයුතු හෙට
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්‍ය නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10 සිට ඇයගේ දේහය මහජන ගෞරවය සදහා තැබෙන බවයි මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතා මාධ්‍ය හමුවේ කියාසිටියේ. ”නන්දා මාලිනී මහත්මිය තමන්ගේ අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිය ලියලා තියලා තියෙනවා. උදේ 10ට නන්දා මාලිනී මහත්මියගේ දේහය ඇය පදිංචි වෙලා හිටපු නාවල පාර, අංක 30, විජයබා මාවත, නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට ගෙනෙනවා. ඊට පස්සේ ඇගේ දේහය සෙනසුරාදා පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේම තැන්පත් කරනවා. ඇය කියලා තියෙන්නේ “මගේ නිවසින් පිට මගේ දේහය ගෙනියන්න එපා” කියලා. ඊළඟට ඇය කියලා තියෙනවා ඉතා චාම් විදියට මේ කටයුතු කරන්න කියලා. ඒ නිසා පවුලේ හැමදෙනාම තීරණය කළා සෙනසුරාදා පස්වරු 3:30ට දේහය මෙහෙන් අරන් යනවා රිය පෙරහැරකින්. අරගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක්, කථා පැවැත්වීමක්, ශෝක ප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නැහැ. හවස 5:00ට ඉතාම චාම් විදියට මේ අවමංගල්‍යය කරන්න තීරණය කරලා තියෙනවා.” මේ අතර ආචාර්‍ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද සිට දින තුනක් ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතියේ යශෝරාවය ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත නන්දා මාලනිය පිළිබද තබන සටහනක් මේ ”ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගී පහන් ටැඹ, ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්‍ය නන්දා මාලනියන්. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඇය දැක්වූ දායකත්වය අපරිමිතයි. දශක හයකටත් වඩා වැඩි කාලයක් පුරා තමන්ගේ සුභාවිත හඬින් සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම හදවත් සපත කළ හෙළ ගී කරලියේ අසහාය ගීත කෝකිලාවිය ඇය. කොළඹ ලිව්වැන්දූව නැමැති ග්‍රාමයේ දුප්පත් පවුලක උපත ලබා, සහෝදර සහෝදරියන් නවදෙනෙකුගෙන් යුත් පවුලක හැදී වැඩුණු ඇගේ ළමා කාලය අතිශය දුෂ්කර එකක් වුණා. නන්දා මාලනිය “අපිට මේ තිබුණේ නැහැ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ. තාත්තට තිබුණේ නැහැ ඒවා අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරෙප්පු කියලා සෙරෙප්පු ජාතියක්. සත තිහයි, සත පනහයි, සත හැට තමයි වැඩිම ඒක. පාට පාට තීන්ත ගාලා තියෙන්නේ. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මිස්දාන අයත් හිටියා, මම නම් දාගෙන ගියේ කට්ට සෙරෙප්පු. ඉතින් මම එනකොට ටකාස් ටකාස් ටකාස් ටකාස් ගාලා සද්දේ එනවනේ කට්ට සෙරෙප්පු. ඔන්න කට්ටයා එනවා…” ”එහෙත් ඇය සතු සහජ දක්ෂතාවය හඳුනාගත් බී. එල්. එස්. පෙරේරා ඇයව ගුවන් විදුලියේ ළමා පිටියට හඳුන්වා දුන්නා. තම ජීවිතයේ ආර්‍ථික සහ සාමාජීය අභියෝග රැසකට මුහුණ දෙමින් දැඩි කැපවීමෙන් සංගීතය හදාරා, ඇය මෙරට ප්‍රමුඛතම ගායන ශිල්පිනියක් දක්වා පැමිණියා. ඒ ගමන අතිශය ප්‍රශංසනීයයි. භාරතීය ශාස්ත්‍රීය සංගීතයේ ආභාසය ලබමින් ඇය දේශීය සුභාවිත ගීත කලාවට නව පණක් එක්කර දුන්නා. 1961 වසරේ “රන්මුතු දූව” සිනමා පටයෙන් “ගලන ගඟකි ජීවිතේ” නම් වූ ඒ අමරණීය ගීතයෙන් ඇරඹුණු ඇගේ ස්වර, ශ්‍රී ලාංකේය ගීත චාරිකාවට අදටත් අපේ සිතුම් පැතුම් සුවපත් කරනවා. භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ ඇය, සුභාවිත ගීතයේ මෙන්ම සාමාජීය විප්ලවීය අදහස් ජනගත කරන්නටත් තමන්ගේ හඬ භාවිත කළේ නිර්‍භයවයි. “සත්‍යයේ ගීතය”, “පවන”, “ශ්‍රවණ ආරාධනා” — මේ ප්‍රාසාංගික ගීත හුදෙක් රසවින්දනයට එහා ගිය සාමාජීය ප්‍රඥාව අවදි කළ කලාත්මක අත්හදා බැලීම් වුණා. ප්‍රේමය, භක්තිය, මාතෘත්වය පමණක් නොව සාමාජීය අසාධාරණයට එරෙහිව නැගී සිටි ඒ ප්‍රෞඩ හඬ අපේ රටේ සංගීත වංශ කතාවේ රන් අකුරින් ලියවුණු හඬයි. සරසවිය, රාජ්‍ය සම්මාන ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇයට හිමි වූ සුවිශේෂීම සම්මානය වූයේ ලාංකේය ජනතාවගේ හදවත් වල තැන්පත් වූ ඒ සදාතනික ආදරයයි. .
Google AdSense
In-Article Ad

