FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අනෝජන් බේරගන්න සෞදි ගිය රජයේ දූත පිරිස සෞදියේම හිරවේ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකු වන අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා වන විශේෂ පොදු සමාව අයැදීමේ නීතිමය අභියාචනය අවසන් කිරීමට එරටට ගිය සිව්පුද්ගල ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම, ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් රියාද් නුවර සිරවී සිටින බව The Sunday Times පුවත්පත වාර්‍තා කරයි. අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ අසාර්‍ඩ් නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වෙති. අදාළ අභියාචනා ලේඛන සකස් කර අවසන් කිරීමෙන් පසු ඔවුන් ඊයේ දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. යේමනයේ හූති සටන්කාමීන් විසින් රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමත් සමඟ මෙම පිරිස මෙලෙස සිරවී ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය ද ඔක්තෝබර් 18 වැනිදා දක්වා රියාද් නුවර වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවා තිබේ. මෙම නියෝජිත පිරිස ගොඩබිම් මාර්‍ගයෙන් අසල්වැසි රටකට ගොස් එතැන් සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාව පිළිබඳව සලකා බැලුවද, පවතින අධික දුර ප්‍රමාණය හේතුවෙන් එම අදහස තාවකාලිකව අත්හිටුවා ඇත. මේ අතර, රියාද් නුවර සිට සන්ඩේ ටයිම්ස් වෙත අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්‍ඩ් නවාවි මහතා සඳහන් කර ඇත්තේ, අභියාචනයට අදාළ සියලු ලේඛන කටයුතු අවසන් කර ඇති බවත්, මෙම සමාව අයැදීමේ පෙත්සම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් දැඩි විශ්වාසයකින් පසුවන බවත්‍ය. මෙම අභියාචනය ඔක්තෝබර් 14 වැනිදාට පෙර ගොනු කළ යුතුව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා රුපියල් මිලියන 6.6ක පමණ මුදලක් වැය වන බවත්, සමස්ත ක්‍රියාවලිය සඳහා මේ වන විටත් රුපියල් මිලියන 9කට ආසන්න මුදලක් වැය කර ඇති බවත්‍ය. සාමාන්‍යයෙන් රජය පුද්ගලික නඩු කටයුතු සඳහා මුදල් වැය නොකළද, මෙය සුවිශේෂී මානුෂීය අවස්ථාවක් ලෙස සලකා රජය මැදිහත් වූ බව ඔහු පෙන්වා දුන්නේය. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ද පසුගිය බ්‍රහස්පතින්දා රියාද් නුවර සිට කිලෝමීටර් 450ක් පමණ ඈතින් පිහිටි දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස් සිරගතව සිටින සිවරාසා මහතාව හමුවී ඇති බවද එම පුවත්පත් වාර්‍තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad