FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගෙවල් දොරවල් යට කරගෙන නේපාලයේ යළිත් මහා ජල ගැල්මක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

හිම කඳු කඩා වැටීමක් සමග ඇති වූ මහා ජලගැල්මකින් ඉකුත්දා විපතට පත් නේපාලය දැන් නැවත වරක් ජල ගැල්මකින් විපතට පත්ව තිබෙනවා. මෙවර මෙම ආපදාව සිදුව ඇත්තේ උතුරු මැද නේපාලයේ පිහිටි බුධි ගණ්ඩකි ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන්. ප්‍රදේශ රැසක් දැනටමත් ජලයෙන් යට වී ඇති අතර නිවාස සහ වෙනත් ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ​ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය විසින් මෙලෙස ගම්වාසීන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගංවතුර තත්ත්වය තවත් වැඩි විය හැකි බැවින් සෙසු ප්‍රදේශ රැසකද වැසියන්ට විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. කත්මණ්ඩු අගනුවර රටේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන මහා මාර්‍ගයේ පිහිටි අරුගාට් (Arughat) නැමැති ගංගාශ්‍රිත නගරයේ ද රජයේ නිවේදනයත් සමඟ ජනතාව ඉවත් කිරීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්‍තා වී නැහැ. ​කත්මණ්ඩු අගනුවරට ආසන්න ප්‍රධාන ජල මාර්‍ගයක් වන ත්‍රිශූලි ගඟට එක්වන බුධි ගණ්ඩකි ගඟ මෙලෙස හදිසියේ පිටාර ගැලීමට හේතුව තවමත් පැහැදිලි නැහැ. ඒ පිළිබඳ සෙවීමට ආපදා කළමනාකරණ නියෝජිතායතනය උත්සාහ කරමින් සිටිනවා. ​සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්‍ශනවල දැක්වෙන්නේ උස පර්‍වත අතරින් ගලාබසින පිටාර ගැලූ ගඟ නිවාස සහ මඩුවල කොටස් ගසාගෙන යන ආකාරයයි. මේ අතර හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් ​නේපාලය මහා ගංවතුරකින් විපතට පත් වූයේ ඉකුත් අගෝස්තු මාසයේදීයි. එම ව්‍යසනයෙන් පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මියගිය අතර දහස් ගණනක් අතුරුදහන් වුණා. මෙම ව්‍යසනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් කෙරුණේ ඉකුත්​සඳුදා දිනයේදීයි. බේරා ගැනීමේ මෙහෙයුම් වෙනුවට හානියට පත් මාර්‍ග සහ පාලම් යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන බව නේපාල අගමැති බලේන්ද්‍ර ෂාගේ (Balendra Shah) කාර්‍යාලය එදින නිවේදනය කළා. මෙම ​නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.77 ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ කාලය දැන් නැවත වරක් මහා ජල ගැල්මකින් විපතට පත්ව සිටින්නේ එවැනි පසුබිමකදීයි. .

Google AdSense

In-Article Ad