FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කාවන්තිස්සට වෙඩි තැබුවේ සැකකරු බවට සාක්‍ෂි කෝ..- විනිසුරු.. වෙඩි තිවුවා කියා පිලිගන්නැයි සැමියාට බලපෑම් කරනවා..- බිරිද

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්‍ධන ප්‍රහාරක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව, මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය නියෝග කළාය. වනජීවී දෙපාර්‍තමේන්තුව විසින් සැකකරුවන් දෙදෙනාට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් ගොනු කර තිබූ අතර, එහිදී පළමුව විභාගයට ගැනුණේ ලක්මාල් පද්මසිරි නමැත්තාට එරෙහි නඩුවයි. එහිදී කරුණු දැක්වූ වනජීවී නිලධාරීන් කියා සිටියේ සැකකරු සන්තකයේ නීත්‍යානුකූල බලපත්‍ර සහිත තුවක්කුවක් තිබෙන බවත්, ඔහු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින් එම ගිනිඅවියෙන් කාවන්තිස්ස හස්තියාට වෙඩි තබන්නට ඇතැයි සැක කරන බවත්‍ය. ඊට විරෝධය පළ කරමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, වනජීවී නිලධාරීන් කිසිදු පදනමකින් තොරව මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. හස්තියාට වෙඩි වැදීමේ සිදුවීමෙන් පසු ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් සහ කැළඹිලි සහගත වාතාවරණය හමුවේ වලාන දූෂණ මර්‍ධන අංශය ගමට කඩාපැන බලපත්‍ර සහිත තුවක්කු සන්තකයේ තිබූ පුද්ගලයන් හයදෙනෙකු රැගෙන ගොස්, ඉන් තිදෙනෙකු රඳවාගෙන අවසානයේ තම සේවාදායකයා මෙලෙස නිකරුණේ පටලවා ඇති බව නීතිඥවරයා සඳහන් කළේය. තම සේවාදායකයා කිසිදු බලපත්‍ර කොන්දේසියක් කඩකර නොමැති බවත්, අදාළ වෙඩි තැබීමට ඔහු සම්බන්ධ බවට රජයේ රස පරීක්ෂකවරයා හරහා කිසිදු විද්‍යාත්මක හෝ බැලිස්ටික් පරීක්ෂණයක් සිදු නොකර හුදු සැකය මත පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. දෙවන සැකකරු වන ශාන්ත ධර්‍මසිරි රත්නායක සම්බන්ධයෙන් කරුණු දක්වමින් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ, ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක වසර විස්සක සේවා කාලයක් සහිත රාජ්‍ය නිලධාරියකු බවත්, සිය වගාබිම් ආරක්ෂා කරගැනීම සඳහා බලපත්‍ර සහිත තුවක්කුවක් තිබුණද ඔහු කිසිදු දිනක එය භාවිත කර පවා නොමැති බවත්‍ය. දෙපාර්‍ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය, සැකකරු සන්තකයේ ඇති ගිනිඅවියෙන්ම හස්තියාට වෙඩි තැබූ බව සනාථ කිරීමට ඇති සාක්ෂි කවරේදැයි වනජීවී නිලධාරීන්ගෙන් විමසා සිටියද ඊට නිසි පිළිතුරක් දීමට ඔවුන් අපොහොසත් වී ඇත. එහිදී විවෘත අධිකරණයේදී වනජීවී නිලධාරීන්ට අවවාද කළ මහේස්ත්‍රාත්වරිය, ඉදිරි නඩු වාරයේදී සැකකරුවන් නිකරුණේ රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළාය. සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් හස්තියාට වෙඩි තැබුවේ නම්, ඊට අදාළ නිශ්චිත දින වකවානු, විද්‍යාත්මක පදනම සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු ඇතුළත් සවිස්තර වාර්‍තාවක් ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රධාන සැකකරුගේ බිරිඳ සඳහන් කර සිටියේ තම සැමියා මෙම සිදුවීමට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවය. "නිලධාරීන් ඇවිත් කාවන්තිස්සට වෙඩි තිබ්බා නේද කියලා මේ වරද පිළිගන්නැයි බලපෑම් කළා. නමුත් නොකළ වරදක් භාරගන්නේ කොහොමද කියලා මගේ මහත්තයා ඒක ප්‍රතික්ෂේප කළා. මමත් රජයේ සේවකයෙක්, මගේ සැමියාත් රජයේ සේවකයෙක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා මගේ සැමියා අපරාධකරුවෙක් විදිහට හංවඩු ගහලා. අද අපේ පවුලේ හතර දෙනාටම සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. නිලධාරීන් භාරයට ගත්තේ නීත්‍යානුකූල බලපත්‍ර සහිත, මේ වසරටත් ලියාපදිංචිය අලුත් කරපු ගිනිඅවියක්. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අපිට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා සිටිනවා," යැයි ඇය පැවසුවාය.

Google AdSense

In-Article Ad