
හෝමාගම පොලිසියේදී තරුණයා මිය ගියේ ලෙඩවෙලා.. ඒ ලෙඩේට බෙල්ල කැඩිලා.. ඉල ඇට තුනක් බිදිලා..
FM Heart · 2 min read
කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පොලිසිය පවසන පරිදි රෝගාතුර වීමෙන් මියගිය බව කියන තරුණයාගේ ඉළඇට තුනක් බිඳී බෙල්ල කැඩී ගියේ කවර රෝගී තත්ත්වයකින් දැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා රටට පැහැදිලි කළ යුතු බවයි. "අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු බවට නීතියක් තියෙද්දී, හෝමාගම පොලිසිය ඉෂාර නමැති තරුණයාව අත්අඩංගුවට ගෙන පැය 6ක් ඇතුළත ගහලා මරලා දාලා තියෙනවා. ඉළඇට තුනක් කැඩෙන, බෙල්ල බිඳෙන අසනීප මොනවාද කියලා අපි මීට කලින් අහලා නෑ," යැයි ජයගොඩ මහතා සඳහන් කළේය. ජනතාවගේ හඬ නිහඬ කිරීම සඳහා ආණ්ඩුව විසින් ‘ත්රස්ත විරෝධී පනත’ සහ ‘සංවිධානාත්මක අපරාධ පනත’ නීතිගත කිරීමට සූදානම් වන බවට චෝදනා කළ ඒ මහතා, එමඟින් මෙතෙක් අධිකරණය සතුව පැවති පුද්ගලයන් රඳවා තබාගැනීමේ සහ නඩු පැවරීමේ පූර්ණ බලතල විධායකය සහ පොලිස් නිලධාරීන් අතට පත්වන බව අවධාරණය කළේය. පොලිසිය හමුවේ ලබාදෙන පාපෝච්චාරණ අධිකරණයේදී පිළිගත හැකි වලංගු සාක්ෂියක් බවට පත්කිරීමට සංවිධානාත්මක අපරාධ පනත මඟින් ඉඩ සලසා ඇති බව පෙන්වා දුන් හෙතෙම, හෝමාගම වැනි පොලිසිවලදී වධහිංසා පමුණුවා බලහත්කාරයෙන් ලබාගන්නා ප්රකාශ මත පුරවැසියන් වසර ගණනාවක් සිරගත කිරීමේ භයානක තත්ත්වයක් මින් උදාවන බව පැවසීය. "පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පවා දාලා තිබුණා 'කට අරිද්දී දෙපාරක් හිතන්න' කියලා. මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා මේ කිසිවක් නොදන්නා ළදරුවෙකු වගේ හැසිරුණාට, මේ මර්දනකාරී පනත් සහ පොලිස් ප්රචණ්ඩත්වය අතර තියෙන සම්බන්ධය රටට හොඳින්ම තේරෙනවා. ආණ්ඩුවට සුළු හෝ ලැජ්ජාවක් තියෙනවා නම් මේ මර්දනකාරී පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව වහාම හකුළාගත යුතුයි," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

