
හෝටලයට කස්සප හිමිගේ නොදුටු වීඩියෝ කතා එලියට...
FM Heart · 2 min read
කොළඹදී පැවති මාධ්ය හමුවකදී අදහස් දැක්වූ සත්යග්රහයට එක්ව සිටි පූජ්ය තඹළගමුවේ ඛේමසුමන හිමියන් සඳහන් කළේ, සත්යග්රහය පැවති අවස්ථාවේදී පූජ්ය බලංගොඩ කස්සප හිමියන් දැඩි ලෙස උණ රෝගාතුර වීම හේතුවෙන් උන්වහන්සේට විවේක ගැනීම සඳහා ආරක්ෂිත ස්ථානයක් අවශ්ය වූ බවයි. පැවති අවදානම් සහගත දේශපාලන වාතාවරණය හමුවේ උන්වහන්සේ රෝහල්ගත කළහොත් ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවට සැකයක් මතු වූ බැවින්, දායකයන්ගේ මැදිහත්වීමෙන් කිංග්ස්බරි හෝටලයේ කාමරයක් වෙන් කරවා ගත් බව උන්වහන්සේ පැවසූහ. තඹළගමුවේ ඛේමසුමන හිමියන් සහ පූජ්ය චන්දකිත්ති හිමියන් ද කස්සප හිමියන් සමඟ එම හෝටලයට වැඩම කළ බවත්, උන්වහන්සේ තනිව වැඩම නොකළ බවත් මෙහිදී අවධාරණය කෙරිණි. හෝටල් කාමරය වෙතම පෞද්ගලික වෛද්යවරුන් සහ හෙදියන් කඩිනමින් කැඳවා ප්රතිකාර ලබාදුන් බව පැවසූ ඛේමසුමන හිමියෝ, උන්වහන්සේට ප්රහාර එල්ල කිරීමේ අරමුණින් එම වෛද්ය ප්රතිකාර ලබාදුන් දර්ශන වසන් කර ආරක්ෂිත කැමරා පද්ධතියේ කොටසක් පමණක් සංස්කරණය කර සමාජගත කර ඇති බවට චෝදනා කළහ. මේ අතර, විහාරමහාදේවී උද්යානයේ පැවති සත්යග්රහය වළක්වාලමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. අධිකරණය හමුවේ පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්රහයේ 106 වැනි වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් බවයි. "106 වැනි වගන්තිය යටතේ මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කළ හැක්කේ මිනිස් ජීවිතවලට, ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්යයට තර්ජනයක් හෝ ප්රචණ්ඩ කැරැල්ලක්, කෝලාහලයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇත්නම් පමණයි. සාමකාමීව පැවති සත්යග්රහයක එවැනි කිසිදු තත්ත්වයක් තිබුණේ නැහැ. බීමත් මැර කල්ලි යොදවා කෘත්රිම කෝලාහලයක් මවාපාමින් මෙම තහනම් නියෝගය ලබාගෙන තිබෙනවා. මහේස්ත්රාත්වරයාගේ මෙම නීතිවිරෝධී නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් අප අභියාචනාධිකරණය හමුවට පැමිණියා," යැයි ගම්මන්පිල මහතා පැවසීය.

