
රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර අවසන්.. දැන් අපි අමරණීයයි.. මරා දැමීමට නොහැකියි..- කස්සප හිමි
FM Heart · 2 min read
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට එරෙහිව පසුගිය 07 වැනිදා රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබූ අතර, ශාසනයෙන් නෙරපූ බව කියන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් පසුගිය 12 වැනිදා එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. එම සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, පූජ්‍ය කහටගස්දිගිලියේ විජිත හිමි, පූජ්‍ය බලංගොඩ අනුරුද්ධ හිමි, පූජ්‍ය පිළිමතලාවේ රේවත හිමි සහ පූජ්‍ය දෙනියායේ සෝරත හිමි යන භික්ෂූන් වහන්සේලා පස් නම සහ ගිහි පුද්ගලයින් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ රාජාංගණයේ සද්ධාරතන නමැත්තාට සාමණේර හෝ උපසම්පදා සහතිකයක් නොමැති බවත්, මෙරට කිසිදු නිකායක් මගින් ඔහුව භික්ෂුවක් ලෙස පිළිනොගන්නා බවත්ය. තවද ඇප ලබා පිටව යන අවස්ථාවේ සැකකරුවෙකු වන කේ. සමන් ෆොන්සේකා නමැත්තා යළි අනුරාධපුරයට නොපැමිණෙන ලෙස තර්ජනය කළ බවට නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කළේ තමන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර ඇති බැවින් මේ වන විට අමරණීය මිනිසුන් බවට පත්ව සිටින බවත්, මරා දැමීමට හෝ පහර දීමට පැමිණියද බිය වැද්දිය නොහැකි බවත්ය. රාමඤ්ඤ නිකායෙන් නෙරපූ පුද්ගලයෙකු සිවුරක් පොරවාගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවත්, අනතුරුව 300කට අධික හෙල්මට් බලකායක් පැමිණ භික්ෂූන් වහන්සේලාට හා කාන්තාවන්ට පහර දුන් බවත් උන්වහන්සේ චෝදනා කළහ. තවද පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් පැමිණිල්ල සටහන් කර නොගෙන අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළ බවට චෝදනා කළ කස්සප හිමියන්, රජය රට ලේ ගංගාවක් බවට පත් කිරීමට සූදානම් වන බවට ද ප්‍රකාශ කළහ.

