FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දුෂිතයන්ට දඬුවම් දෙනවා..- විදේශ ඇමති UN මහ සමුළුව අමතමින්

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවේ මහා විවාදය අමතමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දූෂණය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්‍වල කර ජනතා විශ්වාසය බිඳ දමන බව ශ්‍රී ලංකාව මනාව වටහාගෙන ඇති බවයි. විනිවිදභාවයෙන් යුතු සහ සදාචාරාත්මක රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට මෙරට සියලු ප්‍රජාවන් නියෝජනය වන පරිදි ඓතිහාසික ජනවරමක් හිමි වූ බව සිහිපත් කළ ඒ මහතා, වචනයට පමණක් සීමා නොවී විනය, කැපවීම සහ ක්‍රියාවෙන්ම ජනතා විශ්වාසය යළි තහවුරු කරමින් සිටින බව අවධාරණය කළේය. අල්ලස් හා දූෂණ විමර්‍ශනය කරන සහ නඩු පවරන ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආරම්භ කළ ජාතික වැඩසටහන මඟින් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙළේ මහමොළකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය. 2022 පැවති දැඩි ආර්‍ථික අර්‍බුදයෙන් සහ ස්වභාවික ආපදාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සාර්‍ව ආර්‍ථික ස්ථාවරත්වය යළි අත්පත් කරගෙන ඇති බවත්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්‍ගීකරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ණය බරින් පීඩිත රටවල් මුහුණ දෙන අභියෝග හමුවේ ආර්‍ථික ස්ථාවරත්වය තහවුරු කරන අතරම, පීඩාවට පත් අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන්කරමින් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සුරැකීමට පියවර ගත් බවද සඳහන් කළේය. දශක තුනක යුද්ධයේ කැළැල් සුවපත් කරමින් ජාතික සමඟිය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය කැපවී සිටින බවත්, ජාතිවාදය සහ ආගමික අන්තවාදය සියලු ආකාරයෙන් ප්‍රතික්ෂේප කර විවිධත්වය අගයන සුරක්ෂිත දේශයක් බිහිකිරීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය. භූ-දේශපාලනික අර්‍බුද මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සිය නොබැඳි ප්‍රතිපත්තිය රකිමින් මානුෂීය වගකීම් ඉහළින්ම ඉටුකළ බව සිහිපත් කළ හෙතෙම, මෙරට මුහුදු සීමාව ආසන්නයේ අනතුරට පත් විදෙස් නෞකාවක සිටි නාවිකයන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ ආකාරය ආදර්‍ශයක් ලෙස පෙන්වා දුන්නේය. මීට අමතරව, ගාසා තීරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව දැඩි කනගාටුව පළ කළ අමාත්‍යවරයා, 1967 දේශසීමා පදනම් කරගනිමින් ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවතිය හැකි ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ඇති කළ යුතු බවත් අවධාරණය කළේය. එමෙන්ම දේශගුණික විපර්‍යාසවල අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා 'දේශගුණික යුක්තිය' (Climate Justice) ඉටුවිය යුතු බවත්, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්‍ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත් 2050 වන විට ශුන්‍ය කාබන් විමෝචනයක් කරා ළඟා වීමටත් ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා සිය දේශනයේදී වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad