
කුමාර ජයකොඩි යලි ඇමති ධුරයකට..?
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
ඉල්ලා අස්වූ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතාට එළැඹෙන ජනවාරි මාසය වන විට නැවතත් අමාත්ය ධුරයක් ලබාදීමේ සූදානමක් ආණ්ඩුව අභ්යන්තරයේ ක්රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා අනාවරණය කරයි. කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය. විදුලිබල අමාත්යාංශයේ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් සහ ගල්අඟුරු ප්රසම්පාදන ක්රියාවලියේ ගැටලු හමුවේ හිටපු අමාත්ය කුමාර ජයකොඩි මහතා මෙන්ම එම අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතාද මීට පෙර සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණි. එවන් පසුබිමක ඔහු නැවත ඇමැති ධුරයකට පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බව මන්ත්රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විදුලිබල අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයකු මාර්ගයෙන් තමන් වෙත ලැබී ඇති නිල කමිටු වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 20කට ආසන්න වන බවයි. වත්මන් අමාත්ය අනුර කරුණාතිලක මහතා මෙම පාඩුව රුපියල් බිලියන 15.68ක් ලෙස දක්වමින් සත්යය යටපත් කිරීමට උත්සාහ කරන බවටද හෙතෙම චෝදනා කළේය. ප්රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමිවීම මත, එම හිඟය පියවා ගැනීමට විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 8.572ක් වැය කර ඇත. බාල ගල්අඟුරුවලින් අවශ්ය විදුලි ධාරිතාව නිපදවීමට වැඩිපුර ගල්අඟුරු දහනය කිරීම නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 7.099කි. යන්ත්රෝපකරණවල අමතර නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 80.4ක්ද, බාල ගල්අඟුරු නිසා විශාල වශයෙන් එකතු වූ අළු හැසිරවීම සඳහා රුපියල් මිලියන 13.1ක්ද වැයවී තිබේ. නැව් 25ක ටෙන්ඩරයෙන් පැමිණ ඇත්තේ නැව් 19ක් පමණක් බැවින්, ඉතිරි නැව් 5 හදිසි මිලදී ගැනීම් යටතේ වෙළෙඳපොළ මිලට වඩා වැඩියෙන් රුපියල් මිලියන 2,284ක් ගෙවා ලබාගෙන ඇත. ගල්අඟුරු බාල බව තහවුරු කරගැනීම සඳහා ඔස්ට්රේලියාවේ 'බියුරෝ වෙරිටාස්' (Bureau Veritas) සමාගම මඟින් නැව් 19ම පරීක්ෂා කිරීමට එක් නැවකට රුපියල් මිලියන 1.4 බැගින් මිලියන 26.6ක් ගෙවා තිබේ. සැප්තැම්බර් 01 සිට 04 දක්වා එක් නැවක් ප්රමාද වීම නිසා විදුලිය මිලදී ගැනීමට අමතරව රුපියල් මිලියන 402.8ක් වැයවී ඇත. මෙම ගණනය කිරීම්වලට අමතරව, මෙගාවොට් 300ක හිඟය පියවීමට ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී රජය දැරූ දැවැන්ත පාඩුව මෙම වාර්තාවලට ඇතුළත් කර නොමැති බව මන්ත්රීවරයා අවධාරණය කළේය. ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 700ක්ව පැවති සමයේ රජය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලීටරයකට රුපියල් 350ක පාඩුවක් දරා ඇති බවත්, එම පාඩුවද ගණනය කළ විට සමස්ත වංචාවේ අලාභය රුපියල් බිලියන 20 ඉක්මවන බවත් ඔහු පැවසීය. මහජන මුදල් සතයක්වත් හොරකම් කිරීමට හෝ නාස්ති කිරීමට ඉඩ නොතබන බවට ජනතාව හමුවේ වේදිකාවල ප්රතිඥා දුන් වත්මන් පාලකයන්, බලයට පත්වීමෙන් පසු ජනතාව මුළා කරමින් මෙවැනි මහා පරිමාණ නාස්තිකාර ගනුදෙනු සිදුකරමින් සිටින බවද මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

