
ක්රිස්තු පූර්ව යුගයේත් අපේ අයට ලියන්න, කියවන්න පුළුවන්..- ඇමති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ ආණමඩුව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවති ආණමඩුව ප්රාදේශීය සාහිත්ය උත්සවය අමතමිනි. භෞතික සම්පත් කොතරම් සංවර්ධනය කළ ද, මානව සම්පත පිරිහුණු සමාජයකින් සතුටුදායක අනාගතයක් නිර්මාණය කළ නොහැකි බවත්, රටක් ගොඩනැගීමට නම් පළමුව සංස්කෘතික මිනිසෙක් බිහි කළ යුතු බවත් රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. සාහිත්යය සහ මිනිස් ජීවිතය අතර පවතින සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ, පුරාණ හිතෝපදේශ කෘතියේ සඳහන් වන පරිදි සාහිත්යයෙන්, සංගීතයෙන් සහ කලාවෙන් තොර මිනිසා සතෙකුට සමාන වන බවයි. විශ්වයේ ඉතිහාසය සමඟ සැසඳීමේදී මිනිසා ජීවත් වන කෙටි කාලය තුළ සමාජයට වැඩදායී සහ ප්රයෝජනවත් පුද්ගලයෙකු ලෙස ජීවත් වීම අත්යවශ්ය වේ. අතීතයේ සිට ම තමන් මුහුණ දුන් විවිධ දුෂ්කරතාවන් හා චිත්තවේගයන් පාලනය කරගැනීමට මිනිසා සාහිත්යය සහ කලාව උපයෝගී කරගත් අතර, කරත්ත කවි, ගොයම් කවි සහ පැල්කවි වැනි ජන සාහිත්ය අංග නිර්මාණය වූයේ ද එම අභියෝගයන් සාර්ථකව ජයගැනීමට බව අමාත්යවරයා සිහිපත් කළේය. එමෙන්ම සාක්ෂරතාවේ නව මානයන් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්යවරයා සඳහන් කළේ, ක්රිස්තු පූර්ව යුගයට අයත් තෝනිගල සෙල්ලිපිය වැනි පුරාවිද්යාත්මක සාක්ෂිවලින් පැහැදිලි වන්නේ අතීතයේ සිටම මෙරට ජනතාවට කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබූ බවයි. කෙසේ වෙතත්, වර්තමානය වන විට හුදෙක් ලිවීමට හා කියවීමට ඇති හැකියාවට එහා ගිය පාරිසරික සාක්ෂරතාව (Environmental Literacy) සහ ආර්ථික සාක්ෂරතාව (Economic Literacy) සමාජයට අත්යවශ්ය වී තිබේ. පරිසරය විනාශ නොකර ආරක්ෂා කරගැනීමත්, උපයා ගන්නා ධනය නිසි පරිදි කළමනාකරණය කරමින් ආයෝජනය කිරීමත් තුළින් යහපත් සමාජයක් ගොඩනැගිය හැකි බව අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. රජයේ ප්රතිපත්ති ප්රකාශනය තුළින් බලාපොරොත්තු වන්නේ හුදෙක් උසස් ගොඩනැගිලි හෝ මාර්ග සංවර්ධනය කිරීම පමණක් නොව, ලස්සන ජීවිතයක් උරුම කරගත් සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමයි. මත්ද්රව්ය හා අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින අතර, බිඳ වැටුණු ආර්ථිකය සහ සමාජය නැවත ගොඩනැගීමේදී මෙවැනි සාහිත්ය උත්සවවලින් ලබන ආදර්ශය ඉමහත් පිටුවහලක් වන බව අමාත්යවරයා සඳහන් කළේය. මෙහිදී සාහිත්ය උත්සවයට සමගාමීව පවත්වන ලද සාහිත්ය තරගාවලියේ ජයග්රාහි පාසල් සිසුන් වෙත තිළිණ හා සහතික පත් ප්රදානය කිරීම ද සිදු කෙරුණු අතර ප්රදේශයේ පාසල් සිසුන්ගේ නර්තන අංග ද ඉදිරිපත් කෙරිණි. ආණමඩුව ප්රාදේශීය ලේකම් ලක්මාල් විජේසිංහ මහතා ප්රමුඛ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ විශේෂ දේශනය සුගත් සෝමවීර සූරීන් විසින් පවත්වන ලද අතර මෙම උත්සව අවස්ථාවට ප්රදේශයේ කලාකරුවන් ප්රමුඛ සම්භාවනීය අමුත්තන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ පාසල් දූ දරුවන් රැසක් සහභාගී වූහ.
Google AdSense
In-Article Ad

