FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්‍ශනවල ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්‍තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය. වවුනියාවේ ස්ථාපිත පළමුවන බුද්ධි බලකාය සහ මඩකලපුව හා ගිරිතලේ ස්ථාපිත තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය ආශ්‍රිතව මෙම තොරතුරු හෙළිව ඇති බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා, හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවූ 'තම්බියන්' නමැති හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු හරහා සහරාන් හෂීම් ප්‍රහාරයකට සූදානම් වන බවත් වවුනතිව් පොලිස් මුරපොළේ නිලධාරීන් ඝාතනය කළේ සහරාන් බවත් තහවුරු කරගෙන තිබූ බව පැවසීය. එහෙත් එම තොරතුරු හිතාමතාම වසන් කර ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැටවීමට කටයුතු කර තිබූ අතර, කර්‍නල් රණවීර සහ ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා ප්‍රධානී කර්‍නල් මද්දුමගේ යන නිලධාරීන් මෙම කරුණු බුද්ධි අධ්‍යක්ෂවරයා වෙත නිසි පරිදි වාර්‍තා නොකර වසන් කර ඇති බවද අධිකරණයට දන්වා සිටියේය. 2016 සිට බුද්ධි අංශයට තොරතුරු සැපයූ 'රාසික්' නමැති ඔත්තුකරු ලබාදුන් තොරතුරු මෙන්ම, විදේශ බුද්ධි අංශ මගින් අප්‍රේල් 03 වනදා ලබාදුන් අනතුරු ඇඟවීම් සහ අප්‍රේල් 20 වනදා පල්ලි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරු පවා නිසි පරිදි සන්නිවේදනය නොකර සහරාන් ඇතුළු කල්ලිය ආරක්ෂා කිරීමට බුද්ධි අංශයේ නිශ්චිත කණ්ඩායමක් කටයුතු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අන්තවාදී කණ්ඩායම් විමර්‍ශන අංශ ප්‍රධානියා ලෙස 2014 සිට කටයුතු කළ පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර විසින් සහරාන් සහ රිල්වාන් ඇතුළු 94 දෙනෙකුගෙන් යුත් අන්තවාදීන්ගේ නාමලේඛනයක් සකස් කර තිබූ බවත්, අප්‍රේල් ප්‍රහාරයට පෙර කාත්තන්කුඩියට ගොස් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හමුවී තේ පානය කර සාකච්ඡා කර පැමිණියා මිස ඔහුව අත්අඩංගුවට නොගත් බවත් දිලීප පීරිස් මහතා හෙළි කළේය. එම අවස්ථාවේදී රිල්වාන් අත්අඩංගුවට ගත්තේ නම් මෙම සමස්ත විනාශය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කළේය. තවද, ප්‍රහාරයෙන් පසු සයින්දමරුදුහිදී සහරාන්ගේ ඥාතීන් 16 දෙනෙකු මියයාම, ත්‍රිරෝද රථ රියදුරෙකු සහ මාධ්‍යවේදියෙකු ඝාතනය වීම මෙන්ම සාරා ජැස්මින් වැනි පිරිස් බෝට්ටු මගින් ඉන්දියාවට යැවීම පිටුපස ගැඹුරු පසුබිම් කුමන්ත්‍රණයක් පැවති බවද නීතිපති දෙපාර්‍තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙහිදී කරුණු විමසා සිටි කොටුව මහේස්ත්‍රාත් බරපතළ සැකයක් මතුව තිබියදීත් අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව මේ වන විටත් තිදෙනෙකුට විදේශ ගමන් තහනම් පනවා ඇති බවත්, කර්‍නල් මද්දුමගේ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බැවින්, එම නීතිමය ක්‍රියාමාර්‍ගය අවසන් වූ වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. සැකකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමින්ද ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්‍තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බවත්, බී වාර්‍තා මගින් ඕනෑම පදනම් විරහිත කරුණක් ඉදිරිපත් කළ හැකි බැවින් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින බවත්‍ය. දෙපාර්‍ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්‍තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන සැප්තැම්බර් 22 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කළේය. මීට අමතරව පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර වෙත විදේශ ගමන් තහනමක් නියම කළ අධිකරණය, විමර්‍ශන ප්‍රගතිය වාර්‍තා කිරීම සඳහා නඩුව යළි සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියෝග කළේය.

Google AdSense

In-Article Ad