
අනෝජන්ට අවසන් අභියාචනය කරන්න මෙරට කණ්ඩායමක් සෞදි යයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ආගමික අපහාසය පිළිබඳ චෝදනාවක් මත සෞදි අරාබියේදී සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා සංශෝධනය වූ ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම හෝ ඔහුගේ දඬුවම ලිහිල් කරගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සකස් කිරීමේ අරමුණින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාර්‍ඩ් නවාෆි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමක් ලබන අඟහරුවාදා එරට බලා පිටත්ව යාමට නියමිතය. මෙම නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් ඇතුළත් වේ. මෙම ගැටලුවට වඩාත් යහපත් ආකාරයෙන් විසඳුම් සෙවීම සඳහා සෞදි අරාබි නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද මෙම කණ්ඩායම සැලසුම් කර ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්‍ඩ් නවාෆි මහතා සඳහන් කර ඇත්තේ, මෙම නඩුව මෙහෙයවනු ලබන නීති සමාගම් දෙකක නියෝජිතයන් හමුවී එරට ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය සඳහා වන ලේඛන අවසන් කිරීමට පියවර ගන්නා බවයි. අදාළ නීති සමාගම් දෙකෙහි සේවය ලබාගෙන ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි. මේ අතර, අනෝජන් සිවරාසා වෙනුවෙන් සමාව අයැදිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ලිපියක් රැගත් පාර්‍ලිමේන්තු නියෝජිත කණ්ඩායමක්ද ඉදිරියේදී සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතව ඇත.
Google AdSense
In-Article Ad

