FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බර අඩු පාන් සොයා රටපුරා යළිත් මෙහෙයුම් – මෙවර බේකරිවලටත් නඩු

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නියමිත බර නොමැති පාන් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නැවත වරක් රටපුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පාන් නියමිත බර සහිතව නිෂ්පාදනය කර තිබේද යන්න පිළිබඳ මෙන්ම බර හා මිල පාරිභෝගිකයාට පැහැදිලිව ප්‍රදර්‍ශනය කර තිබේදැයි ද මෙහිදී විමර්‍ශන සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. මෙම මෙහෙයුම යටතේ ඉකුත් දින කිහිපයෙදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. එහිදී, බර අඩු පාන් සම්බන්ධයෙන් සිද්ධි 35ක් හඳුනාගෙන ඇති අතර පාන්වල බර නිසි ලෙස ප්‍රදර්‍ශනය කර නොතිබූ බේකරි සහ වෙළෙඳසැල් 85ක් ද හඳුනාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ. මිල නිසි ලෙස ප්‍රදර්‍ශනය කර නොතිබුණු වෙළඳසැල් සහ බේකරි 55ක් ද හඳුනාගෙන තිබෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවලදී සිදු කෙරුණේ බර අඩු පාන් විමර්‍ශනවලදී හමුවූ අවස්ථාවල පාන් අලෙවි කළ වෙළඳසැල් සඳහා පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. එහෙත්, ඊට සීමා නොවී බර අඩු පාන් නිෂ්පාදනය කළ හෝ සැපයූ බේකරිය දක්වා විමර්‍ශනය ගෙන යාමට නිලධාරීන්ට දැන් උපදෙස් ලබා දී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව, අදාළ බේකරියේ නිෂ්පාදනය කරන පාන්වල බරද පරීක්ෂා කර, නියමිත බරට අනුකූල නොවන පාන් නිෂ්පාදනය කරන බව තහවුරු වන අවස්ථාවලදී නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති. ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී නඩු පැවරීමටද කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ලබාදීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමක් බවද මෙහිදී සිහිපත් කෙරුනා. .

Google AdSense

In-Article Ad