FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වසර දෙකකට පසු ආර්‍ථික වර්‍ධනය අඩුම අගයක... 3.5%ක් වනු ඇතැයි IMF කියයි...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ මෙරට ආර්‍ථික ක්‍රියාකාරකම් අඩාල වෙමින්, පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්‍ථික වර්‍ධනය මන්දගාමී වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි වාර්‍තා වේ. 2022 වසරේදී මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්‍ථික අර්‍බුදයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ආර්‍ථිකය, ඊට පෙර වසරේ පැවති ආර්‍ථික සංකෝචනයෙන් මිදී 2023 සහ 2024 වසර දෙකේදීම සියයට 5 බැගින් වූ ආර්‍ථික වර්‍ධනයක් වාර්‍තා කිරීමට සමත් විය. එහෙත්, වත්මන් මැදපෙරදිග අර්‍බුදයේ ඍජු බලපෑම හේතුවෙන් මෙරට ආර්‍ථික වර්‍ධන වේගය මෙවර පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි මූලික ලක්ෂණයක් ලෙස, මෙම වසරේ දෙවන කාර්‍තුවේදී මෙරට ආර්‍ථික වර්‍ධනය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති අතර, එය පසුගිය කාර්‍තු අටක කාලය තුළ වාර්‍තා වූ අවම වර්‍ධන අගය ලෙස සටහන් වේ. කෙසේවෙතත්, වසරේ දෙවන භාගය ද ඇතුළුව සමස්තයක් ලෙස මෙම වසරේ ආර්‍ථික වර්‍ධන වේගය සියයට 4 ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, "මේ මොහොතේ නිශ්චිත අගයක් ප්‍රකාශ කිරීම කල් වැඩි වුවත්, පවතින ආර්‍ථික ක්‍රියාකාරකම් සහ දර්‍ශකවලට අනුව වසරේ දෙවන අඩ තුළ, එනම් ඉදිරි කාර්‍තු දෙකේදී වර්‍ධනය සියයට 4 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. වසරේ අර්‍ධ දෙකෙහිදීම වර්‍ධනය සියයට 4 ඉක්මවනු ඇතැයි පෙනෙන්නට තිබුණද, සමස්ත වාර්‍ෂික පුරෝකථනය අප තවමත් අවසන් කර නැහැ ඒ දෙස ඉදිරියේදී විමසා බැලිය යුතුයි," යනුවෙනි. මෙම වසර සඳහා වන මහ බැංකු ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පසුගිය ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරමින් ආචාර්‍ය වීරසිංහ මහතා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්‍ථික වර්‍ධනය සියයට 4 ත් 5 ත් අතර අගයක පවතිනු ඇති බවයි. මේ අතර, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් පරිභෝජනය පහත වැටී තිබියදීත්, මෙම වසරේදී සියයට 5 ක ආර්‍ථික වර්‍ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව තවමත් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කර තිබිණි. රජයේ එම පුරෝකථනය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, "රජයේ පුරෝකථනය රජය සතු තීරණයක්. ඒ පිළිබඳව අප අදහස් දැක්වීම සුදුසු නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ සියයට 3.5 ක අගයක්. රජය එක් මතයක සිටින අතර, ලෝක බැංකුව සහ ආසියානු සංවර්‍ධන බැංකුව ද තවත් පුරෝකථන ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල ඔවුන්ගේම උපකල්පන මත පදනම් වූ ඒවායි. අපට අදහස් දැක්විය හැක්කේ අපගේ පුරෝකථන සම්බන්ධයෙන් පමණයි," යනුවෙනි.

Google AdSense

In-Article Ad